ටස්කර් - ග්ලැඩියේටර් තරගය උණුසුම් කළ ඇෆ්ගන් - පකිස්තාන් මත ගැටුම

ටස්කර් - ග්ලැඩියේටර් තරගය උණුසුම් කළ ඇෆ්ගන් - පකිස්තාන් මත ගැටුම

1 December 2020 10:37 am

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 06 වැනි තරගය ඊයේ (30) රාත්‍රී පැවැත්විණි. ඒ කැන්ඩි ටස්කර් සහ ගෝල් ග්ලැඩියේටර් අතරයි. මෙ තරගය උණුසුම් මුහුණුවරක් ගත්තේ එම කණ්ඩායම් දෙකම ඊට පෙර මුහුණ දුන් තරග දෙකම පරාජයට පත්ව තිබීම නිසාය. ඒ නිසා තරගාවලියේ ඉදිරියට යාමට මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.

පළමු පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර් කණ්ඩායම් කඩුලු 05 ක් දැවී ලකුණු 196 ක් ලබා ගත් අතර එම ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ 171 ක් පමණි. ඒ අනුව ටස්කර් කණ්ඩායමට ලකුණු 25 ක ජයග්‍රහණයක් හිමි විය.

තරගයේ අවසාන භාගයේදී කණ්ඩායම් දෙ‍කේ ක්‍රීඩකයන් අතර යම් උණුසුම් තත්වයක් ඇති වූ අතර ඒ පිළිබඳව මේ වනවිට ලොවපුරා ක්‍රිකට්ලෝලීන් අතර කතාබහට ලක්ව තිබේ. තරගයේ 18 වැනි පන්දුවාරය අතරතුර, පන්දු යවමින් සිටි ඇෆ්ගන් ක්‍රීඩක නවීන් උල් හක් සහ පන්දුවට පහරදෙමින් සිටි පකිස්තානු ක්‍රීඩක මොහමඩ් ආමීර් අතර වචන හුවමාරුවක් ඇතිවිය. පන්දු කිහිපයක් අතරතුර මෙම වචන හුවමාරුව සිදු වූ අතර ඒ වනවිට ටස්කර් කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස්ගේ මැදිහත්වීම මත එය සමථයකට පත්විය.

තරගය අවසානයේ කණ්ඩායමේ ක්‍රීඩකයන් සුහදතාවය පළකරන අතරතුර ග්ලැඩියේටර් කණ්ඩායමේ නායක ෂහීඩ් අෆ්රිඩ් ඇෆ්ගන් නවක ක්‍රීඩක නවීන් උල් හක්ට ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳවද කතාබහට ලක් වී ඇති අතර එහිදී ප්‍රවීන ක්‍රීඩකයෙකු ලෙස ෂහීඩ් අ‍ෆ්රිඩි කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඔහුට බො‍හෝ දෙනාගේ ප්‍රසාදය හිමිව තිබේ.

UN