බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට නිරෝධායනය හරහට හිටී !

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට නිරෝධායනය හරහට හිටී !

15 September 2020 12:03 pm

ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යළිත් අවිනිශ්චිත වී තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයන් මෙරටට පැමිණීමෙන් පසු අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටවල් දෙකේ ක්‍රිකට් බළධාරීන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වීමයි.

කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු දින 14 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවකට යටත් වන අතර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමද ඊට අවනත විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් බළධාරීන් ඒ සඳහා එකඟතාවය පළකර නොමැත.

බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් 27 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්පසු දින 14 ක් නිරෝධායනය වීමට සිදු වුවහොත් තම කණ්ඩායමට පුහුණුවීම් සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබෙන බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් මහතා පවසා තිබෙන්නේ.

බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරගාවලියට පෙර පුහුණු තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිත අතර දින 14 ක නිරෝධායන කාලසීමාව ගත කිරීමට සිදු වුවහොත් ඔවුන්ට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ එක් පුහුණු තරගයක් පමණි. මාස හයක පමණ කාලයක් තිස්සේ තම ක්‍රීඩකයන් තරගවලින් බැහැරව සිටින බැවින් එක් පුහුණු තරගයක් පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද නස්මුල් හසන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා බළධාරීන් දන්වා තිබුනේ සතියක නිරෝධායන කාලසීමාවක් පමණක් ප්‍රමාණවත් වනු ඇති බවයි. එහෙත් ඉන්පසු එය සති දෙකක් දක්වා දීර්ග කිරීමට තීරණය කර තිබෙනවා.

UN