20/20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට චාන්ස් එකක්

20/20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට චාන්ස් එකක්

13 August 2020 01:43 pm

ලෝක ක්‍රිකට් කැලැන්ඩරයට අනුව ලබන වසරේදී පැවැත්වීමට නියමිතව තිබෙන 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා සීමිත අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. ඒ ලොව පුරා තවමත් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙනි.

මෙම තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් එය වසරකින් කල් දැමීමට තීරණය විය. ඕස්ට්‍රේලියාව සතුව තිබූ සත්කාරකත්වය ඉන්දියාවට ලබාදීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාව කොවිඩ් ආසාදිතයන් වාර්තා වන රටවල්වලින් තෙවැනි ස්ථානයේ සිටින අතර ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය හා බ්‍රසීලය පමණි. ඉන්දියාවෙන් මේ දක්වා ආසාදිතයන් මිලියන 2.3 ක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ප්‍රමාණය 50,000 ආසන්නයට පැමිණ තිබෙනවා.

මේ නිසා යම් හෙයකින් ලබන වසරේදී එය ඉන්දියාවේදී පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් විකල්ප දෙකක් සූදානම් කිරීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේය. ඒ අනුව මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නොහැකි වුවහොත් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිරිනැමීමට තීරණය කර තිබේ.

මීට පෙර 2012 වසරේදී 20/20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවති අතර එවර සත්කාරකයන් පරදා තරගාවලිය ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය.

UN