සුද්දන්ගේ සහ කල්ලන්ගේ රතු පන්දුවේ සංග්‍රාමයෙන් යළිත් ඇ‍රඹෙන ටෙස්ට් ක්‍රිකට් වසන්තය

සුද්දන්ගේ සහ කල්ලන්ගේ රතු පන්දුවේ සංග්‍රාමයෙන් යළිත් ඇ‍රඹෙන ටෙස්ට් ක්‍රිකට් වසන්තය

8 July 2020 07:07 am

සමස්ත ලෝකයම කොවිඩ් වෛරසයේ බලපෑමට නතුවීමත් සමග ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩා තරග අත්හිටුවීමට සිදු විය. එම කාලය තුළ අත්හිටුවීමට සිදු වූ අතිශය වැදගත්ම ක්‍රීඩා ඉසව්ව, වසර හතරකට වරක් පැවැත්වෙන ලොව විශාලතම ක්‍රීඩා සැණකෙලිය ලෙස සැලකෙන ඔලිම්පික් තරගාවලියයි.

32 වැනි ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් තරගාවලිය ජුලි මස 23 වැනිදා ජපානයේ ටෝකියෝ නගරයේදී ආරම්භවීමට නියමිතව තිබුණද එය වසර දෙකකින් පමණ කල්දමා තිබේ.

මීට අමතරව ලොවපුරා රටවල් 09 ක සහභාගීත්වයෙන්, පසුගිය වසරේදී ආරම්භ වී 2021 වසර දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අදාල අතිශය වැදගත් තරගාවලිය කිහිපයක්ම අත්හිටුවීමට සිදුවිය. ඒ අනුව මාස හතරකට වැඩි කාලයක් තිස්සේ අදාල තරගාවලිය නොපැවැත්වුණු අතර එම තරගාවලියට අදාලව අවසාන තරගය පැවැත්වුනේ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. ඒ පසුගිය පෙබරවාරි 29 වැනිදා සිට මාර්තු 02 වැනිදා දක්වා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදීය.

මාස හතරක විරාමයකින් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියට යළිත් වසන්තය උදා වී තිබේ.

ඒ අනුව තරග තුනකින් සමන්විත එංගලන්ත - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය අද ආරම්භ වේ. පළමු තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගනයේදීය.

විශේෂත්වය වන්නේ මෙම තරගාවලිය කිසිදු ප්‍රේක්ෂකයෙකු නොමැතිව ක්‍රීඩා කිරීමයි. ඊට හේතුව වන්නේ කොවිඩ් වෛරසයේ බලපෑම තවදුරටත් අවසන්ව නොමැති නිසා ලොව සියලු රටවල් ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා තරග පැවැත්වීමට තීරණය කර තිබීමයි.

මෙය එංගලන්ත කණ්ඩායමට නම් සැලකිය යුතු බලපෑමක් වනු ඇත. එංගලන්තයේ පැවැත්වෙන ඕනෑම ටෙස්ට් තරගයක් සඳහා විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිවන අතර 'බාමි ආමි' යනුවෙන් හඳුන්වන එංගලන්ත ප්‍රේක්ෂක සමූහයා නොමැතිව ක්‍රීඩා කිරීම එංගලන්ත කණ්ඩායමට තමන්ගේ එක් ක්‍රීඩකයෙකු නොමැතිව ක්‍රීඩා කරනවාක් මෙන් දැනෙනු ඇත.

අද තරගයේදී පළමු වරට බෙන් ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිතය. ඒ ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක ජෝ රූට්, සිය බිරිඳගේ දරු ප්‍රසූතිය හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට සහභාගි නොවීම හේතුවෙනි. ඒ අනුව බෙන් ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් වූ 81 වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එකතු වේ.

කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් සීමිත කාලයක් සඳහා ක්‍රිකට් නීති පවා වෙනස් කිරීමට සිදු වූ අතර ඒ අනුව ටෙස්ට් තරග සඳහා දේශීය විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් පමණක් යොදා ගැනීමට තීරණය වී තිබේ. දේශීය විනිසුරුවරුන් පමණක් යොදා ගැනීම නිසා එක් ඉනිමකදී කණ්ඩායමකට හිමිවන විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා ගණන තුන දක්වා වැඩි කිරීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේය.

මීට අමතරව ටෙස්ට් තරගයක් සඳහා සහභාගි වන සෑම ක්‍රීඩකයෙකුටම අතිරේක ක්‍රීඩකයෙකු නම් කිරීමට අවස්ථාව හිමිවන අතර ඒ අනුව යම් හෙයකින් ක්‍රීඩකයෙකුට තරගය අතරතුර කොවිඩ් රෝග ලක්ෂණවල සමාන රෝග ලක්ෂණ පහළ වුවහොත් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමේ අවස්ථාව හිමි වේ.

UN