මොකෝ මචං මැච් එක විකුණලද ආවෙ - සොයිසා මහින්දානන්දගෙන් එදා අහපු කතාව

මොකෝ මචං මැච් එක විකුණලද ආවෙ - සොයිසා මහින්දානන්දගෙන් එදා අහපු කතාව

4 July 2020 11:20 am

ශ්‍රී ලංකාව තුළ කීර්තිමත් දේශපාලනඥයන් නොමැති වුවත් රටේ වාසනාවට ලොවපුරා ගෞරවාදරයට පාත්‍ර වූ කීර්තිමත් ක්‍රීඩකයන් පිරිසක් බිහි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා. රටේ පාලකයන් විසින් සෙල්ලම් කරන්නේ මෙවැනි කීර්තිමත් ක්‍රීඩකයන්ගේ ජීවිත සමග බවයි ඔහු පවසන්නේ.

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සජීවීව නැරඹීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය, එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නාමල් රාජපක්ෂ, උදිත් ලොකුබණ්ඩාර යන හිටපු මන්ත්‍රීවරුන් අවසන් තරගයට පෙර දින නේපාලයට ගියේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව වහාම පරීක්ෂණ සිදුකළ යුතු බවයි ඔහු මාධ්‍ය හමුවකදී පවසා තිබෙන්නේ. විජයමුණි සොයිසා මහතා මීට පෙර පැවති මාධ්‍ය හමුවකදීද මේ කරුණ අවධාරණය කර තිබිණි.

2011 දී එවකට පැවති රජයේ ඉහළ පුද්ගලයන් රාජ්‍යතාන්ත්‍රික ලෙස ලෝක කුසලානය පාවාදුන් බවට සාධාරණය සැකයක් තිබෙන බවයි සොයිසා මහතා පවසන්නේ.

එදා අවසාන මහා තරගය නැරඹීමෙන් පසුව තරගය විකුණා ඇති බවට තමන්ට සැක මතු වූ බවත්, ඒ නිසා තරගයෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වූ සැනින් 'මොකෝ මචං මැච් එක විකුණලද ආවෙ' යනුවෙන් තමන් විමසූ බවත්, එවිට අලුත්ගමගේ මහතා 'අනේ නෑ අයියේ' යනුවෙන් පවසමින් තමා මගහැර ගිය බවත් විජයමුණි සොයිසා මහතා පවසනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාම පවසන පරිදි පාවාදීමක් සිදුවූයේ නම් ක්‍රීඩා ඇමතිවරයා ලෙස ඔහු එකළ ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකර හදිසියේ නින්දෙන් ඇහැරුනාක් මෙන් වසර 09 කට පසුව මෙම කරුණ මතු කිරීම පිළිබඳව බරපතල සැකයක් මතුවන බවත්, ICC සභාපති තනතුර සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන කුමාර සංගක්කාරට මඩ ගැසීමේ අරමුණින් සිදු කරන්නක් යැයි සැක කිරීම අතිශය සාධාරණ බවත් සොයිසා මහතා අවධාරණය කරනවා.

UN