ලෝක කුසලාන පාවාදීම් ගැන විමර්ශන හදිසියේම අවසන් කරයි

ලෝක කුසලාන පාවාදීම් ගැන විමර්ශන හදිසියේම අවසන් කරයි

3 July 2020 03:00 pm

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී තරග පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනය හදිසියේ අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය තවදුරටත් සිදු නොකර බවත්, මෙතක් පැවති විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත වාර්තාවක් ලබාදීමට තීරණය කර ඇති බවත් ක්‍රීඩා වැරදි සම්බන්ව විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසනවා.

එම ඒකකයේ නිළධාරීන් අද පෙරවරුවේ රැස් වී මතුව ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ මෙම තරගයට සහභාගි වූ සියලු ක්‍රීඩකයන් ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීම හේතුවෙන් රටතුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් මතුවිය හැකි බවයි. එසේම මෙතෙක් කටඋත්තර ලබාදුන් ක්‍රීඩකයන්ගේ ප්‍රකාශ අනුව, මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ හේතු 14 තහවුරු කරගත නොහැකි වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසනවා.

අවසන් මොහොතේදී කණ්ඩායමේ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් සහ ඊට හේතු වූ සාධාරණ හේතු සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ හිටපු තේරීම් කමිටු සභාපතිවරයා ඉදිරිපත් කළ බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවයක් නොමැති බව විමර්ශන කමිටුවේ අදහස බවත් ජගත් ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

UN