ලෝක කුසලානය පාවා දුන් බවට මහින්දානන්දට තියන අරුම පුදුම සාක්කි මෙන්න

ලෝක කුසලානය පාවා දුන් බවට මහින්දානන්දට තියන අරුම පුදුම සාක්කි මෙන්න

2 July 2020 04:44 pm

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී මුදලට තරග පාවාදීමක් සිදු වූ බවට එවකට ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ඇවිලුණු ගින්න තවමත් දැල්වෙමින් තිබේ. මේ වනවිට ඊට අදාලව විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ වී තිබේ.

මහින්දානන්ද අළුත්ගමගේ මහතා මේ පිළිබඳව හෙලිදරව් කරමින් ප්‍රකාශ කළේ මෙම පාවාදීමට එදා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිසිසේත් සම්බන්ධ නොමැති බවයි. එහෙත් පුදුමයට කරුණ වන්නේ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම පන්නන්නේම එදා තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුපස වීමයි.

මුලින්ම උපුල් තරංග ප්‍රකාශ ලබා ගැනීම සඳහා, ක්‍රීඩා සම්බන්ධ විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවා තිබූ අතර අදාල තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ නායකයා වූ කුමාර සංගක්කාර අදාල විමර්ශන ඒකකය වෙත අද කැඳවා තිබේ. උප නායකත්වය දැරූ මහේල ජයවර්ධනගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ අතර මහින්දානන්ද අළුත්ගමගේ මහතා නියෝජනය කරන දේශපාලන කඳවුර, ක්‍රීඩකයන් සම්බන්ධයෙන් උඩින් මිතුරු - යටින් හතුරු මෙහෙයුමක නිරතව සිටී. ඇමතිවරුන් හා හිටපු ඇමතිවරුන් සංගලා මහේලලා වර්ණනා කරද්දී එම ඇමතිවරුන්ට, හිටපු ඇමතිවරුන්ට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් භාවිතා කරමින් විවිධ මඩ අවලාද නගමින් සිටී.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තමන් වෙත ගෙන්වා ගන්නා විමර්ශන කණ්ඩායම මහින්දානන්ද අළුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා, ඔහු විමර්ශන ඒකකය වෙත කැඳවනවා වෙනුවට විමර්ශන ඒකකය අළුත්ගමගේ මහතා හමුවට යයි. ක්‍රීඩකයන් සඳහා එක් පිළිවෙතකුත් දේශපාලනඥයන් සඳහා වෙනත් පිළිවෙතකුත් අනුගමනය කරන විමර්ශන කණ්ඩායම්වල විමර්ශන පිළිබඳව කෙතරම් විශ්වාසය තැබිය හැකිද යන්න ගැටලුවකි.

අළුත්ගමගේ හිටපු ඇමතිවරයා තමන් වෙත පැමිණි විමර්ශන නිළධාරීන් වෙත විශේෂ අනාවරණයක් සිදුකර තිබේ. එනම්, අදාල ලෝක කුසලාන අවසාන මහා තරගයේදී පාවාදීමක් සිදු වූ බවට තමන් පවසන්නේ හේතු 24 ක් නිසා බව ඔහු විමර්ශන නිළධාරීන් වෙත පවසා තිබේ.

පළමුවැන්න ඉන්දියාව සමග අවසාන මහා තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා කණ්ඩායම භාරව සිටි නිළධාරීන් විශේෂ අමුත්තන් පිරිසක් හමුවන්නට ඇතැයි පවතින සැකයයි. මෙය හුදෙක් සැකයක් මිස ඒ සඳහා අළුත්ගමගේ මහතා සතුව කිසිදු සාක්ෂියක් නොමැත.

අවසන් තරගයට පෙර හදිසියේ කණ්ඩායම තුළ සිදුකළ වෙනස්කම් සහ හදිසියේ කණ්ඩායමට කැඳවූ චමින්ද වාස් අවසන් තරගයට ක්‍රීඩා නොකිරීම හිටපු ඇමතිවරයාට තිබෙන තවත් හේතුවකි. මේ සඳහා දිගින් දිගටම එවක තේරීම් කමිටුව පිළිතුරු ලබා දී ඇත. යම් ක්‍රීඩකයෙකු හදිසියේ සංචිතයට කැඳවූ පමණින් ඔහු කණ්ඩායමට ඇතුළත් වීම අනිවාර්ය නොවන බව හිටපු ක්‍රීඩා ඇමතිවරයා වූ අළුත්ගමගේ මහතා නොදැන සිටියද යම් පමණක හෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් අවබෝධයක් සහිත ප්‍රේක්ෂකයන් පවා දන්නා කරුණකි.

අවසන් තරගය පැවති අප්‍රේල් 02 වැනිදා උදෑසන කෑම මේසයේදී වෙනස්කම් හතරක් සිදු කිරීම ඔහුට ඇති තවත් හේතුවකි. සාමාන්‍යයෙන් තරගයක් සඳහා ක්‍රීඩා කරන අවසන් එකොළොස් දෙනා නම් කරන්නේ තරගය පැවැත්වීමට ආසන්නයේදී මිස තරගයට සතියකට හෝ මාසයකට පෙර හෝ නොවේ. එය අළුත්ගමගේ ඇමතිවරයා නොදැන සිටින්නට හේතුවක් නොමැත. එසේම අදාල තරගය වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ආබාධවලට ලක්ව සිටි අතර මුරලිදරන්ගේ සහභාගීත්වය අවසන් මොහොත දක්වාම අවිනිශ්චිත විය. ඒ අනුව තරගය පැවැත්වෙන දිනයේ උදෑසන අවසන් 11 දෙනා තෝරා ගැනීම පුදුම වියයුතු කරුණක් නොවේ.

ලෝක කුසලාන සංචිතයේ සිටි සුරාජ් රන්දිව් සහ චාමර කපුගෙදර අවසන් 11 දෙනා අතර සිටීම අළුත්ගමගේ මහතාට විස්මිත කරුණක් වී තිබේ. සංචිතයට නම්කළ ක්‍රීඩකයන් තරගාවලියට යන්නේ අළුත්ගමගේ මහතාගේද අනුමැතිය සහිතවයි. එනිසා කපුගෙදර හා රන්දිව් අවසන් 11 දෙනා අතර සිටීම ඔවුන්ගේ නම් අනුමත කළ ඇමතිවරයාටම විස්මය දනවන්නක් වන්නේ කෙසේද යන්න පැහැදිලි නොමැත. එය ඔහු විසින්ම පැහැදිලි කළයුතු කරුණක් වේ.

ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙනවිට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ආතතියෙන් සිටින බවත් ඔහු සිය ආතතිය සන්සිඳුවා ගැනීමට සිගරැට් 50 කට වඩා පානය කළ බවත්, එසේම මහේල ජයවර්ධන ශතකය ලබා නැවත ක්‍රීඩාගාරයට පැමිණි විට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ඔහුට සුබ පැතීම, අතට අත දීම ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ඇමතිවරයා පාවාදීමක් සිදුව ඇති බවට සාධක ලෙස සඳහන් කරයි. එවැනි සාධක ඔහු සතු නම් කළයුත්තේ වටින්, ගොඩින් නොකියා නම් ගම් සහිතවම එම ක්‍රීඩකයන් හෙලිදරව් කිරීමයි. 

තරගයක් අතරතුර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු එවැනි හැසිරීමක නිරත වූයේ නම් එය එම ක්‍රීඩකයාගේ විනය පිළිබඳව බරපතල ගැටලුවක් වන අතර ක්‍රීඩා ඇමතිවරයා ලෙස ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න අළුත්ගමගේ මහතා පැහැදිලි කළ යුතුය. එසේ ක්‍රියාමාර්ග නොගත්තේ නම් ඒ ඇයිද යන්නද ඔහු පැහැදිලි කළ යුතුය.

ඉන්දීය ඉනිමේ පන්දු වාර 20 සහ 25 අතරදී තරගය සම්පූර්ණයෙන් වෙනස් වූ බවත් එය සැක සහිත බවත් හිටපු ඇමතිවරයා පවසන නමුත් එම වෙනස කුමක්ද යන්න පැහැදිලි නොකරයි. ක්‍රිකට් වැනි අවිනිශ්චිත ක්‍රීඩාවක ඕනෑම මොහොතක එක පන්දුවකින් හෝ පන්දු වාරයකින් හෝ තරගය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය. එය තරගයේ ස්වභාවයයි. එවැනි වෙනසක් ඇති වූ පමණින් පාවාදීමක් යැයි සැක කරන්නේ කෙසේද යන්න මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාට පමණක් අවබෝධ වන කරුණක් විය යුතුය.

තරගය පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයන් රැඳී සිටි ක්‍රීඩාගාරයේ සිටිමින් දිගින් දිගටම දුරකත සංවාදවල නිරතව සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරන නමුත් ඔහු කවුරුන්දැයි නිශ්චිතව හෙලිදරව් නොකරයි. එවැනි පුද්ගලයෙකු ක්‍රීඩාගාරයේ රැඳී සිටියේ නම් ඒ සම්බන්ධයෙන්, එවක ක්‍රීඩාවේ ඉහළම බළධාරියා වූ අළුත්ගමගේ ඇමතිවරයා ගත් ක්‍රියාමාර්ග මොනාවද යන්න පිළිබඳව ද ඔහු ප්‍රකාශ කළ යුතුය.

ඉහත සඳහන් කළේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා, තරග පාවාදීමක් සිදු වූ බවට පෙන්වන හේතු සාධක කිහිපයක් පමණි.

ඔහු මීට පෙර ප්‍රකාශ කළේ තරග පාවාදීමට ක්‍රීඩකයන් කිසිවෙකුත් සම්බන්ධ නොමැති බවයි. එහෙත් ඉහත කරුණුවලින් ඔහු තහවුරු කිරීමට උත්සාහ දරන්නේ ක්‍රීඩකයන්ගේ පාවාදීමක් හෝ එවැනි උත්සාහයක් පිළිබඳවය.

අනෙක් අතින් ඉහත කරුණු මත තරග පාවාදීමක් සිදුව ඇතැයි නිශ්චය කරන්නේ නම් එවැන්නක් සිදුවිය හැක්කේ සංචිතයේ සියලු ක්‍රීඩකයන් ක්‍රීඩකයන්, කණ්ඩායම් භාර නිළධාරීන්, ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ බලධාරීන්, රටේ දේශපාලන නායකත්වය යන සියල්ලේම එකතුවකින් විනා හුදෙක් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ හෝ තේරීම් කමිටුවේ හෝ අවශ්‍යතාවය මත පමණක් නොවේ.

එය එසේ වූවා නම් සිදුවන්නේ රටේ දේශපාලන නායකත්වයට අවශ්‍ය පාවාදීමකට ක්‍රීඩකයන්ට එකඟවීමට සිදුවීම මත මිස ක්‍රීඩකයන්ට අවශ්‍ය පාවාදීමකට රටේ නායකත්වය එකඟවීමට සිදුවීම මත නොවේ. සරලව කිවහොත් මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරන ඉහත සාධක මත 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී පාවාදීමක් සිදුව ඇත්නම් එය සිදුවන්නේ එවකට පැවති රටේ නායකත්වයේ සහ එවකට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ අවශ්‍යතාවය මතම වේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාව බරපතල දුෂ්කරතාවයකට පත්ව ඇති නිසා මාර්තු-අප්‍රේල් මාසවල විදුලි බිල් අයකර නොගැනීමට රජය තීරණය කර ඇති නිසා එම මාස දෙකේ විදුලි බිල් ලැබුණද ඒවා ගෙවීමට අවශ්‍ය නොවන බව ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ප්‍රකාශ කර රටම ඒ පිළිබඳව දැනගැනීමෙන් පසුව එහි උණුසුම යන්නටත් මත්තෙන් තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව දහඅතේ දිවුරමින් ප්‍රකාශ කළේද ඉහත කී දේශපාලනඥයාම බව ද අමතක කළයුතු නොවේ.

එනිසා 2011 ලෝක කුසලානයේදී තරග පාවාදීමක් සිදු වූ බවට හාංකවිසියක සැකයක් නොමැති බවට හෙට දිනයේදී මහින්දානන්ද අළුත්ගමගේ මහතා දිවුර දිවුරා ප්‍රකාශ කිරීමටද ඉඩ තිබේ.

UN