කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට ක්‍රීඩකයන් 25 ක් - සෑම ක්‍රීඩකයෙකුටම ආදේශකයක්

කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට ක්‍රීඩකයන් 25 ක් - සෑම ක්‍රීඩකයෙකුටම ආදේශකයක්

5 June 2020 12:12 pm

ලබන ජූලි මාසයේදී තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එංගලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතය. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලෝක ක්‍රිකට් පිටියට විරාමයක් ලැබුණු අතර එම විරාමය අවසන් කරමින් පැවැත්වීමට සැළසුම් කර ඇති පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙයයි.

මෙම තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබෙන අතර ඒ සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකු ඇතුළත් වේ. මේ අතර මෙම සංචිතයට තවත් අතිරේක ක්‍රීඩකයන් 11 දෙනෙකුද නම්කර තිබේ. සාමාන්‍යයෙන් තරගාවලියක් සඳහා නම් කරන්නේ උපරිම ක්‍රීඩකයන් 15 දෙනෙකු පමණි.

කොවිඩ් වෛරසය හේතුවෙන් මතුව ඇති වසංගත තත්වය හමුවේ අතිරේක ක්‍රීඩකයන් වැඩි පිරිසක් නම් කිරීම සඳහා අනුමැතිය හිමිව ඇති අතර අතිරේක ක්‍රීඩකයන් 11 දෙනෙකු සමග කොදෙව් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යාමට සූදානම් වන්නේ ඒ අනුවයි.

මේ අතර කොවිඩ් වසංගත තත්වය අවසන් වනතුරු ක්‍රිකට් තරගාවලි සඳහා සෑම ක්‍රීඩකයෙකුටම අතිරේක ක්‍රීඩකයෙකු බැගින් නම් කිරීම සඳහා යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත්ව තිබේ. ICC විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ස්ටීව් එල්වර්ති මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවයි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට නියමිතය.

එංගලන්ත සංචාරය සඳහා නම්කර සිටි කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ඩැරන් බ්‍රාවෝ, ෂිම්රන් හෙට්මේයර්, කීමෝ පෝල් යන ක්‍රීඩකයන් අදාල සංචිතය සඳහා සහභාගිවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සංචිතය සඳහා නම්කර තිබේ.

UN