ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ඇරඹෙයි

1 June 2020 01:32 pm

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයන් 13 දෙනෙකු පළමු වරට අද (01) දිනයේ සිට පුහුණුවීම් සඳහා එක්ව සිටී.

කොළඹ සීසීසී ක්‍රීඩාංගනයේදී මෙම පුහුණුවීම් ආරම්භ වන අතර ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් පුහුණුවීම් සඳහා එක්වන්නේ මාස දෙක හමාරකට ආසන්න කාලයකට පසුවයි.

රජයේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් පුහුණුවීම් සිදු කරන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

මේ අතර ලොව රටවල් කිහිපයක ක්‍රීඩා ඉසව් නැවත ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර කෙසේ වෙතත් එම ක්‍රීඩා ඉසව් නරඹන්නන්ගෙන් තොරව පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. කොවිඩ් වෛරසයේ අවදානම හේතුවෙන් 2020 ඔලිම්පික් උළෙල ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සියල්ලම කල්දමා තිබෙනවා.