20/20 කාන්තා ලෝක කුසලානය අද ඇරඹෙයි

20/20 කාන්තා ලෝක කුසලානය අද ඇරඹෙයි

21 February 2020 12:24 pm

20/20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය. ඒ කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙනි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 07 වැනි වරටයි.

තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය ඒ කාණ්ඩයට ඇතුළත් වේ. දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය හා තායිලන්තය බී කාණ්ඩයෙන් සහභාගි වේ.

තායිලන්තය පළමු වරට ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වීම විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියාවේ කැන්බරා, මෙල්බර්න්, පර්ත් සහ සිඩ්නි යන නගරවල ක්‍රීඩාංගන 06 කදී තරග පැවැත්වේ. තරගාවලියේ අවසන් තරගය මාර්තු 08 වැනිදා පැවැත්වෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.

තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අද සිඩ්නි ක්‍රීඩාංගනයේදී තරග වදී. පසුගිය වර ලෝක ශූරියන් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලි ඉතිහාසයේ සිව්වරක් 20/20 ලෝක කුසලානයට හිමිකම් කී අතර එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් එක් වරක් බැගින් ලෝක කුසලානය දිනාගෙන තිබේ.

තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩාම සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩාලෝලීන් පවා එතරම් බලාපොරොත්තු තබාගෙන නොසිටි නමුත් පළමු පුහුණු තරගයේදී ශ්‍රී ලංකාව ඉදිරියේ එංගලන්තය කඩුලු 10 ක පරාජයක් අත්කර ගත් හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිළිබඳ බලාපොරොත්තු ඉහළ නැංවී තිබේ.

ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වී ඇති තරග ප්‍රමාණය 23 ක් වන අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 07 ක් පමණි. කිසිදු තරගාවලියක පළමු වටයෙන් ඉදිරියට පැමිණීමට ඔවුන් සමත් වී නොමැත.