20/20 ටත් මිනි ලෝක කුසලානයක්

20/20 ටත් මිනි ලෝක කුසලානයක්

18 February 2020 02:25 pm

මේ වනවිට ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන 20/20 ක්‍රිකට් තරග අංශය සඳහා තවත් ලෝක මට්ටමේ තරගාවලියක් පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ දැනට පැවැත්වෙන 20/20 ලෝක කුසලානයට අමතරවයි.

20/20 චැම්පියන්ස් කප් ලෙස හැඳින්වෙන මෙම තරගාවලිය පිළිබඳ යෝජනාව මුල්වරට ඉදිරිපත් වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති ICC පූර්ණ සාමාජිකයන්ගේ රැස්වීමේදීය. ‍මීට අදාලව ඒ ඒ රටවල යෝජනා ලබන මාර්තු 15 වැනිදා දක්වා කැඳවා ඇති අතර ඉන්පසු මෙම තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹෙනු ඇත.

මීට පෙර එක්දින තරග සඳහා ද මෙවැනිම තරගාවලියක් හඳුන්වා දුන් අතර එය මුලින් හැඳින්වූයේ මිනි වර්ල්ඩ් කප් ලෙසයි. මේ වනවිට එය චැම්පියන්ස් ත්‍රොපි ලෙස හැඳින්වෙන අතර එය මීලඟ තරගාවලියේ සිට එක්දින චැම්පියන්ස් කප් ලෙස හැඳින්වෙනු ඇත.

20/20 චැම්පියන්ස් කප් තරගාවලිය ස්ථීර වුවහොත් පළමු තරගාවලිය පැවැත්වෙන්නේ 2024 වර්ෂයේදීය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 10 සිටින කණ්ඩායම් සුදුසුකම් ලබන අතර තරගාවලිය තරග 48 කින් සමන්විත වේ. එය 2019 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලිය පැවති ආකාරයෙන්ම පැවැත්වෙනු ඇත.

මෙම යෝජනාව ස්ථිර වුවහොත් 2024 වර්ෂයේ සිට සෑම වසරකම ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වේ. ඒ අනුව 2024 වසරේදී 20/20 චැම්පියන්ස් කප් තරගාවලිය, 2025 වසරේදී එක්දින චැම්පියන්ස් කප් තරගාවලිය, 2026 වසරේදී 20/20 ලෝක කුසලාන තරගාවලිය, 2027 වසරේදී එක්දින ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් ලෝක ක්‍රිකට් පිටියේ බිග් ත්‍රීලා ලෙස සැලකෙන ඉන්දියාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව මෙම යෝජනාව සඳහා එතරම් කැමැත්තක් නොදක්වයි. ඊට හේතුව‍ ලෙස ඔවුන් පවසන්නේ ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි හේතුවෙන් කාර්යබහුල වී සිටින ක්‍රීඩකයන් තවදුරටත් කාර්යබහුල වියහැකි බවයි. ඔවුන් එසේ පැවසුවද සැබෑ හේතුව වන්නේ මෙවැනි ලෝක මට්ටමේ තරගාවලි සංවිධානය කිරීමෙන් ලබන ලාබයට වඩා වැඩි ලාබයක් උපයා ගැනීමට ඔවුන් වැඩි කැමැත්තක් දැක්වීමයි.

UN