කුසල් - මාලිංග ESPNcricinfo සම්මාන දිනයි

කුසල් - මාලිංග ESPNcricinfo සම්මාන දිනයි

11 February 2020 12:02 pm

වාර්ෂික ESPNcricinfo සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් මාලිංග සමත්ව තිබෙනවා. ඒ අනුව කුසල් පෙරේරා හොඳම ටෙස්ට් පිතිකරු සම්මානය දිනාගෙන ඇති අතර ලසිත් මාලිංග හොඳම 20/20 පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගෙන තිබේ.

පසුගිය වසරේදී කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී ලබාගත් ශතකය (153) හේතුවෙන් මෙම සම්මානයට පාත්‍ර විය. එම තරගයේ සිව්වන ඉනිමේදී අවසන් පිතිකරුවා වූ විශ්ව ප්‍රනාන්දු සමග එක්ව සාර්ථක සබඳතාවයක් පිහිටුවමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට සමත් වීම හේතුවෙන් හොඳම ටෙස්ට් පිතිකරු සම්මානය සඳහා නිර්දේශ විය. එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්ද හෙඩිංග්ලිහිදී මෙවැනිම දස්කමක් දක්වමින් අදාල සම්මානය සඳහා නිර්දේශ වී තිබුණද කුසල් පෙරේරාගේ ඉනිම ඉදිරියේ ඔහුට පසුබැසීමට සිදුවිය.

ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පසුගිය වසරේ පල්ලෙකැලේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 06 කට කඩුලු 05 ක් බිඳහෙළීමට සමත් වූ අතර එහිදී ඔහු පිටපිට පන්දු 04 කදී කඩුලු 04 ක් බිඳහෙළීමට ද සමත් විය. එය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පන්දු හතරකදී කඩුලු හතරක් බිඳහෙළූ දෙවැනි අවස්ථාව වන අතර මීට පෙර 2007 ලෝක කුසලාන එක්දින තරගාවලියේදී දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව මෙවැනි දස්කමක් දක්වා තිබිණි.

පල්ලෙකැලේදී ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාවය 20/20 හොඳම පන්දු යැවීමට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රමාණවත් වී තිබේ.