Baggy Green වෙන්දේසියේදී ෂේන් වෝන් ඉදිරියේ ඩොන් බ්‍රැඩ්මන් පරාජය වෙයි !

Baggy Green වෙන්දේසියේදී ෂේන් වෝන් ඉදිරියේ ඩොන් බ්‍රැඩ්මන් පරාජය වෙයි !

8 January 2020 05:26 pm

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් අසරණ වී සිටින ජනතාව වෙනුවෙන් හිටපු දඟපන්දු යවන ක්‍රීඩක ෂේන් ‍වෝන් සිය ටෙස්ට් හිස් වැස්ම වෙන්දේසි කිරීමට තීරණය කළේ මීට දින දෙකකට ඉහතදීය. ‍දින දෙකක් තුළදී ඒ සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 05 ඉක්මවන ලංසුවක් ඉදිරිපත්ව තිබේ.

මීට ඉහතදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ටෙස්ට් හිස් වැස්මක් සඳහා ලැබී තිබූ ඉහළම ලංසුව වාර්තා වූයේ 2003 වසරේදීය. ඒ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් හිස් වැස්ම සඳහායි. එම මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් 425,000 කි.

ෂේන් වෝන්ගේ බැගි ග්‍රීන් කැප් තොප්පිය සඳහා මේ වනවිට ලැබී ඇති ලංසුව ඕස්ට්‍රේලියානු ඩොලර් 510,000 කි. මෙම වෙන්දේසිය අනිද්දා (10) ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 10 ට අවසන් වන අතර ඒ වනවිට ලංසු මුදල තවත් ඉහළ යාහැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර ෂේන් වෝන් අනුව යමින්, 70 - 80 යන දශකවලදී ටෙස්ට් පිටිය හෙල්ලූ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු ජෙෆ් තොම්සන් ද ලැව්ගිනි ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සිය ක්‍රිකට් මතක සටහන් වෙන්දේසි කිරීමට ඉදිරිපත්ව තිබේ. ඒ අනුව ඔහු සතුව තිබූ අවසන් හිස් වැස්ම සහ කබාය වෙන්දේසියට ඉදිරිපත් කර තිබේ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 59 කදී කඩුලු 200 ක් බිඳහෙළූ තොම්සන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිළ වෙබ් අඩවිය සමග පවසා තිබුණේ තමා සතුව ක්‍රිකට් පිටියේ මතක සටහන් ඇත්තේ සීමිත ප්‍රමාණයක් බවයි. ඉනුදු මෙම කැප් තොප්පිය හා කබාය සුවිශේෂී මතක සටහන් වන බවත්, එහෙත් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් තමා ඉතා කැමැත්තෙන් ඒවා වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානම් බවත්ය.

සබැඳි පුවත්:

ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ෂේන් වෝන් සිය ටෙස්ට් කැප් තොප්පිය වෙන්දේසි කරයි