දිනපු පදක්කම් හරීන්ගෙ - එතකොට පැරදුණු පදක්කම් කාගෙද?

දිනපු පදක්කම් හරීන්ගෙ - එතකොට පැරදුණු පදක්කම් කාගෙද?

12 December 2019 03:13 pm

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය 10 වැනිදා නේපාලයේ කත්මන්ඩු නගරයේදී සමාප්ත විය. ඒ, පසුගිය වර දෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත් කරමිනි.

පදක්කම් සටහනේ පළමු ස්ථානය ඉතිහාසයේ සිදු වූ අයුරින්ම සමස්ත රන් පදක්කම්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් (174) දිනා ගනිමින් ඉන්දියාව පෙරමුණ ගනිද්දී සත්කාරක නේපාලය රන් පදක්කම් 51 ක් දිනා ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය. ඔවුන් පසුගිය වර දිනා ගත්තේ රන් පදක්කම් 03 ක් පමණි. එවර ඔවුන් සිටියේ පදක්කම් සටහනේ හයවැනි ස්ථානයේය.

පසුගිය වර රන් පදක්කම් 25 ක් සමගින් දෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර තෙවැනි ස්ථානයට පත් වූ නමුත් රන් පදක්කම් 40 ක් දිනා ගැනීමට සමත් විය.

සමස්ත පදක්කම් සටහන

ඉතිහාසයේ හැමදාමත් සිදුවන අයුරින් මෙවර ද සාග් තරගාවලිය අවසන් වූ වහාම හිටපු ක්‍රීඩා ඇමතිවරයා සිදුකළේ ක්‍රීඩිකාවන් දිනාගත් රන් පදක්කම්වල තමන්ගේ අයිතිය කියා පෑමයි. මෙය ක්‍රීඩා ක්ෂේත්‍රයට පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයකට පොදු තත්වයකි.

යම් හෙයකින් සාග් තරගාවලියට ඔන්න මෙන්න කියා තිබියදී නොව තවත් මාස කිහිපයකට පෙර පැවති ආණ්ඩුව වෙනුවට වත්මන් ආණ්ඩුව පත් වූයේ නම් හිටපු ක්‍රීඩා ඇමතිවරයා සහ වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා පදක්කම්වල අයිතිය හිමිකර ගැනීම සඳහා මාධ්‍ය ඉදිරියේ කටමැති දොඩවනු දැකීමට ද හැකියාව තිබිණි.

දිනාගත් රන්-රිදී-ලෝකඩ පදක්කම්වල අයිතිය, ගෞරවය ඉල්ලා සිටින හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැරදුණු පදක්කම්වල වගකීම භාර ගන්නේ නැත. ඉන්දියාව සහ පකිස්තානය සහභාගි නොවූ පසුබිමක ඉතා පහසුවෙන් දිනා ගැනීමට හැකිව තිබූ ක්‍රිකට් රන් පදක්කම් දෙක අහිමි වීමේ වගකීම හිටපු ක්‍රීඩා ඇමතිවරයා භාර ගන්නේ ද නැත.

සාග් තරගාවලිය සඳහා සහභාගිවීමට නේපාලය බලා පිටත්ව ගිය සෙසු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පුහුණුවීම් ආරම්භ කරද්දී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු වූයේ සිය බෑග් මලු අතින් කටින් එල්ලාගෙන හෝටල් කාමර‌ සොයමින් කත්මන්ඩු නගරයේ පාරවල් ගානේ රස්තියාදු වීමටයි. ඒ රස්තියාදුවේ වගකීම බාර ගැනීමට හිටපු ක්‍රීඩා ඇමතිවරයා සූදානම් නැත. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පිහිටෙන් විදෙස් සංචාර හිමිකර ගන්නා ක්‍රීඩා බලධාරීන් රොත්තක්ම කත්මන්ඩු නුවර සිටිද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හෝටල් කාමර සොයමින් පාරවල් ගානේ රස්තියාදු වීමට සිදුවීම ඛේදවාචකයකි. ඒ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියේ අසනීප තත්වයෙනි. ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය පූර්ණ මානසික යෝග්‍යතාවයද නොමැතිවයි.

එහෙත් ඔවුන් ඒ සියල්ල විඳදරා ගනිමින් සිය යුතුකම් කොටස ඉටු කළේය. ඒ රට වෙනුවෙනි. එසේ රට වෙනුවෙන් දිනාගත් පදක්කම්වල අයිතිය, ගෞරවය දිනා ගැනීමට දැන් ඇමතිවරයා, ක්‍රීඩා බලධාරීන් පොරකමින් සිටී.

ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් 40 න් 15 කටම හිමිකම් කියන්නේ මළල ක්‍රීඩා කණ්ඩායමයි. එය සාග් ඉතිහාසයේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩාවෙන් දිනාගත් වැඩිම රන් පදක්කම් ප්‍රමාණයයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම නේපාලය බලා පිටත්ව ගියේ රන් බලාපොරොත්තු කිහිපයක්ම අහිමි කර ගනිමිනි. ඒ ඔවුන් ආබාධවලට ලක්වීම නිසාය.

විශේෂයෙන්ම මීටර් 1500 රන් පදක්කම් බලාපොරොත්තුව වූ නිමාලි රත්නායක යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අනතුරකට පත්වූයේ නේපාලය බලා පිටත්ව යාමට පෙර දිනයේය. තරගාවලියට පිටත්ව යෑමට ඔන්න මෙන්න කියා තිබියදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ නගරයේ රඳවා තබා ගැනීමට පවා, අද පදක්කම්වල අයිතිය ඉල්ලා සිටින ඇමතිවරු සහ බලධාරීන් අසමත්ය.

මළල ක්‍රීඩා හැරෙන්නට සෙසු ක්‍රීඩා අතරින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූයේ පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. ඔවුන් ඇතැමෙක් සිය පෞද්ගලික වියදමින් විදෙස් රටවල පුහුණුවීම් සිදුකළා විනා ක්‍රීඩා ඇමතිවරයා හෝ ක්‍රීඩා බලධාරීන් ඔවුන් වෙනුවෙන් සිදුකළ කිසිවක් නොමැත. එහෙත් රන් පදක්කම් දිනා ගනිද්දී නම් එහි අයිතිය ලබා ගැනීමට පොරකමින් සිටී.

 සෙසු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලැබෙද්දී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අඩුවක් නැතුවම ලැබුණේ නොලැබීම්ය, අසධාරණකම්ය, අඩු පහසුකම්ය. මේ රන් පදක්කම් 40 ලබා ගත්තේ ඒ නොලැබෙන දේ පිළිබඳ වද නොවන, අසාරධාරණකම්, අහිමිවීම් විඳදරා ගත් කොල්ලන්ය, කෙල්ලන්ය.

දකුණු ආසියානු පදක්කම්ලාභීන් ඉන් ඉදිරියට ගොස් සමස්ත ආසියාවේම, ඉනුදු එපිටට ගොස් ලෝකය ඉදිරියේම ශ්‍රී ලංකාව රනින් බබළවනු ඇතැයි යන්න ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවයි. එම බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කිරීම ක්‍රීඩා ඇමතිලාගේ සහ ක්‍රීඩා බළධාරීන්ගේ වගකීමයි. ඔවුන් සිය වගකීම හරිහැටි ඉටු කළහොත් දිනන පදක්කම්වල අයිතිය ඇමතිවරයාට සහ බළධාරීන්ට ද ලබාදීම ක්‍රීඩා ලෝලීන් විසින්ම සිදු කරනු ඇත.

එසේ නොමැති වුවහොත් අද දකුණු ආසියාව දිනූ ඩිල්ෂිලාට, අමාෂලාට, හිමාෂලාට ද සිදුවන්නේ දකුණු ආසියාව තුළදීම සිය පදක්කම් සිහින බොඳකර ගැනීමටය.