රග්බි ලෝක කුසලානයට අයහපත් කාලගුණයෙන් බලපෑම් !

රග්බි ලෝක කුසලානයට අයහපත් කාලගුණයෙන් බලපෑම් !

10 October 2019 11:04 am

මේ දිනවල ජපානයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ නිසා අනිද්දා (12) පැවැත්වීමට නියමිත තරග දෙකක් අත්හැර දැමීමට ද තරග සංවිධායකයන්ට සිදුව තිබෙනවා.
 
හගිබීස් නමැති සුළි කුණාටුව සෙනසුරදා වනවිට ජපානයේ ටෝකියෝ ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑම් ඇති කරන බව වාර්තා වේ. එදින පස්වරු 04 පමණ වනවිට සුළි කුණාටුව ජපාන ගොඩබිම් සීමාව ඇතුළු වන අතර එය ඒ වනවිට දෙවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා පරිවර්තනය වනු ඇති බවටයි කාලගුණ විද්‍යාඥයන් පුරෝකතනය කරන්නේ. ටෝකියෝ නගරයට සහ ඉන් කිලෝමීටර් 225 ක් බටහිරට වන්නට පිහිටි ටොයෝටා නගරයට ද මෙම සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වන බව මේ වනවිට පුරෝකතනය කර ඇත. 
 
ඒ අනුව රග්බි ලෝක කුසලාන තරගාවලියේ බී කාණ්ඩය යටතේ ටොයෝටාහිදී පැවැත්වෙන නවසීලන්තය සහ ඉතාලිය අතර තරගය මෙන්ම සී කාණ්ඩය යටතේ ටෝකියෝහිදී පැවැත්වෙන එංගලන්තය සහ ප්‍රංශය අතර තරගය අතහැර දැමීමටයි තරග සංවිධායකයන් තීරණය කර තිබෙන්නේ. මෙම තරග සඳහා අතිරේක දින වෙන්කර නොමැති අතර අතහැර දැමෙන සෑම තරගයකදීම කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 02 බැගින් හිමි වේ.
 
මෙම කණ්ඩායම් 4 න් නවසීන්තය, ප්‍රංශය සහ එංගලන්තය මේ වනවිටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන සිටින බැවින් තරගය අතහැර දැමුවද ඔවුන්ගේ ඉදිරි ගමනට කිසිදු බලපෑමක් නොමැත. ඉතාලියටද මෙම තරගය පැවැත්වුවද අර්ධ අවසන් පූර්ව වටය අවිනිශ්චිත බැවින් එම කාණ්ඩයේ අවසන් ප්‍රතිඵලය සඳහා කිසිදු බලපෑමක් නොමැත.
 
මීට අමතව ඉරිදා පැවැත්වීමට නියමිත තරග සඳහා ද මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකිය.
 
මෙම තරග දෙක අතහැර දැමීම හේතුවෙන් අදාල රටවල ප්‍රේක්ෂකයන් හා රසිකයන් වෙත ලෝක කුසලාන තරග සංවිධායකයන් සිය කණගාටුව ප්‍රකාශ කරයි. මෙම තරග දෙකෙහි ටිකට් පත් මිලදී ගත් ප්‍රේක්ෂකයන්ට එම මුදල් නැවත ලබාගැනීමේ හැකියාව පවතින බව ද සංවිධායකයන් පවසයි.