පාකිස්තානු ක්‍රිකට් සංචාරය සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

පාකිස්තානු ක්‍රිකට් සංචාරය සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

19 September 2019 06:00 pm

පාකිස්තානයේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැති හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පාකිස්තානයේ පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළ වූ වාර්තා හේතුවෙන් මෙම තරග සංචාරය අවිනිශ්චිතව පැවතිණි. 

මෙම සංචාරය සඳහා එක්වීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙකු ප්‍රතික්ෂේප කළ අතර ඒ නිසා නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් නම් කිරීමට ක්‍රිකට් ආයතනයට සිදුවිය. ඉන්පසු අග්‍රමාත්‍ය ලේකම් කාර්යාල ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාත්‍යන්තර බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම වාර්තා ප්‍රතික්ෂේප කළ පාකිස්තානු බලධාරීන් ප්‍රකාශ කළේ රාජ්‍ය නායකයෙකුට ලබාදෙන තරමේ ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන බවයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ළහිරු තිරිමාන්න පවසන්නේ, පාකිස්තානු බලධාරීන් ආරක්ෂාව සම්බන්ධයෙන් තෘප්තිමත් වියහැකි බවයි. එ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සතියේදී පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර එහිදී ඔවුන් එක්දින තරග තුනකට සහ 20/20 තරග තුනකට සහභාගි වීමට නියමිතය.

UN