ශ්‍රී ලංකා ක්‍රිකට් - තවමත් තිලංගට ඕනෑ හැටියටද?

ශ්‍රී ලංකා ක්‍රිකට් - තවමත් තිලංගට ඕනෑ හැටියටද?

21 August 2019 02:02 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු පුහුණුකාර මණ්ඩලය හා පසුගිය කාලයේදී කණ්ඩායම් භාරව සිටි නිළධාරීන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා උත්සාහ ගනිමින් සිටී. කෙසේ වෙතත් එය ඔහු හිතන තරම් ලෙහෙසියෙන් සිදුකළ නොහැකි බවයි ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ප්‍රධාන පුහුණුකරු මේ වනවිට තාවකාලිකව ඉවත් කර ඇතත් ඔහුගේ ගිවිසුම අවසන් කර නොමැත. එසේ අවසන් කිරීමට නීතියෙන් බාධා එල්ල විය හැකි අතර අනෙක් පැත්තෙන් ක්‍රිකට් ආයතනයේ වගකිව යුතු ඇතැම් බලධාරීන් හතුරුසිංහ තවදුරටත් රඳවා ගැනීම සඳහා සියලු උත්සාහයන් ගනිමින් සිටී. හතුරුසිංහ සහ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිළධාරී අසංක ගුරුසිංහ ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රිකට් ආයතනය අනුගමනය කරමින් සිටී.

දශක දෙකක පමණ කාලයක සිට ක්‍රිකට් ආයතනය ක්‍රීඩා‍ අමාත්‍යවරයාගේ පාලනයෙන් ගිලිහී තිබූ අතර බොහෝවිට සිදු වූයේ ක්‍රිකට් පරිපාලනයට අවශ්‍ය පරිදි කටයුතු කිරීම හා අමාත්‍යවරයා නිහඬව ඒ දෙස බලා සිටීම පමණි. ඒ තරමටම ක්‍රිකට් ආයතනය බලවත්ය. කුමන් අන්දමින් හෝ ක්‍රිකට් ආයතනයේ පාලනය තමන් සතුකර ගැනීමට බොහෝ දෙනා උත්සාහ ගන්නේ ඒ නිසාය. පසුගිය ඇතැම් නිළවරණ අතිශය උණුසුම් මුහුණුවරක් ගත්තේ, ඇතැම් අවස්ථාවලදී නිළවරණය යුද පිටියක් තරමට උණුසුම් වූයේ ඒ නිසාය.

අවසන් වරට පැවති නිළවරණය සඳහා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ඉදිරිපත් නොවූයේ ඔහුට නීතිමය බාධා එල්ල වූ බැවිනි. කෙසේ වෙතත් තවමත් තිරය පිටුපස සිට ක්‍රිකට් ආයතනය හසුරුවන්නේ තිලංග බව වර්තමානයේදී කටයුතු සිදුවන ආකාරයෙන් තහවුරු වේ.

විශාල වැටුපකට චන්දික හතුරුසිංහ ලංකාවට ගෙන්වන්නේ තිලංග සුමතිපාල විසිනි. හතුරුසිංහට වඩාත් වාසි සහගත ලෙස ගිවිසුම සකස් වන්නේ ඔහුගේ අනුදැනුම මතයි. එසේම ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අසංක ගුරුසිංහ ජාතික කණ්ඩා‍යමේ කළමනාකරු ලෙස පත් කරන්නේද සුමතිපාල විසිනි.

එක් අතෙකින් ඔහු මේ කරන්නේ තමන් ගෙන ආ පුද්ගලයන් දෙදෙනා ආරක්ෂා කිරීමයි. එහි කිසිදු ගැටලුවක් නොමැත. එහෙත් එසේ ආරක්ෂා කිරීම හරහා රටට හෝ රටේ ක්‍රීඩකයන්ට ලැබෙන වාසිය කුමක්ද යන්න ගැටලුවකි.

මේ වනවිට හිස්ව තිබෙන පුහුණුකරු තනතුර ඇතුළු තනතුරු සඳහා විනිවිදභාවයකින් යුතුව පත් කිරීම් සිදුකළ යුතු බවත්, එවැනි විනිවිදභාවයකින් ඊට අදාල ගිවිසුම් සකස් කළයුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර ගණනාවක් ඉතිහාසය දෙස බැලීමේදී නම් එවැනි විනිවිදභාවයක් ක්‍රිකට් පරිපාලනයෙන් අපේක්ෂා කළ නොහැකිය.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග විකාශන අයිතිය ලබාදීමේ කටයුතු සඳහා ද සිව් පුද්ගල කමිටුවක් පත් කරන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබෙනවා.

මීට පෙර සිටි ක්‍රීඩා අමාත්‍යවරුන්ට වෙනස්ව හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. එය ක්‍රීඩාව පැත්තෙන් බැලූවිට සාධනීය ලක්ෂණයකි. කෙසේ වෙතත් වැඩි අවධානය යොමු කරන්නට ගොස් මීට පෙර සිටි ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන්ට මෙන් අකුළාගෙන යාමට හරීන් ප්‍රනාන්දු මහතාට ද සිදුවෙනු ඇති බව නම් නොකියා සිටිය නොහැකිය.

UN