ගාලු පිටියේ වාර්තා අලුත් වෙයිද ?

ගාලු පිටියේ වාර්තා අලුත් වෙයිද ?

16 August 2019 11:02 pm

තරග ‍දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදුන් අතර පළමු ඉනිම සඳහා ඔවුන්ට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 249 ක පමණි. දෙවැනි දිනය වූ ඊයේ දිනය නිමාවන විට පිළිතුර ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 227 ක් ලබා සිටි අතර අද තෙවැනි දිනයේදී ලකුණු 267 කට සියලු දෙනා දැවී ගියේය.

ලකුණු 18 ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්තය දිනය නිමාවද්දී කඩුලු 07 ක් දැවී ලකුණු 195 ක් ලබාගෙන සිටී. ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේ ඉදිරියෙන් සිටින්නේ ලකුණු 177 කින් පමණි.

තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබෙන නමුත් වර්ෂාවෙන් බාධා එල්ල නොවූවහොත් බොහෝදුරට හෙට සිව්වැනි දිනයේදී තරගය අවසන් වනු ඇත.

දඟපන්දු යවන්නන්ට වඩාත් හිතකර ගාලු පිටියේදී බෙ‍ාහෝ තරග දින හතරක් ඇතුළත අවසන් වෙයි.

හෙට දිනයේදී තර‍ගයේ සිව්වැනි ඉනිම ක්‍රීඩා කිරීමට මෙතෙක් ගාලු පිටියේ තරග ඉතිහාසය දෙස බැලුවහොත් එය ශ්‍රී ලංකාවට අවාසිදායකය. ගාලු පිටියේ සිව්වැනි ඉනිම ක්‍රිඩා කළ කණ්ඩායමක් තරගය ජයගෙන ඇත්තේ අවස්ථා 06 කදී පමණි. කෙසේ වෙතත් ඉන් අවස්ථා 05 ක්ම සටහන් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම විසිනි.

සිව්වන ඉනිමේදී දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු ගාලු තනතීරුවේ නවසීලන්ත දඟපන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දෙන ආකාරය අනුව තරගයේ ඉරණම විස‍‍‍ඳෙනු ඇත.

ගාලු පිටියේ මෙතෙක් සිව්වන ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජයගෙන ඇත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ පකිස්තානයට එරෙහිව ලකුණු 99 ක ඉලක්කයකි. කෙසේ වෙතත් නවසීලන්තය මේ වනවිටත් ලකුණු 178 ක ඉලක්කයක් සත්කාරක කණ්ඩායමට ලබා දී ඇති අතර කඩුලු 03 ක් අතැතිව සිටින නිසා එම ඉලක්කය 200 සීමාවට හෝ ඉහළ දැමීමට ඔවුන් සමත් වනු ඇත. අතීත තරග වාර්තා අනුව නම් ලකුණු 200 ‍ක් යනු සිව්වන ඉනිමේදී ලබාගැනීමට අපහසු ඉලක්කයකි.

වෙනදා තරම් ගාලු තනතීරුව දඟපන්දු යවන්නන්ට දැඩි සහායක් දක්වන ආකාරයක් පළමු දින තුන තුළදී දක්නට නොලැබුණද ගාලු තණතීර‍ැවේ සිදුවන වෙනස්කම් කිසිවෙකුටත් සිතාගත නොහැකි තරම්ය. අනෙක් පැත්තෙන් නවසීලන්ත ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා වන අජාස් පටෙල් සහ විල් සමර්විල් දස්කම් අතර සිටී. ඔවුන් දෙදෙනාගේ සහායට මිචෙල් සැන්ට්නර් ද සිටින බැවින් ඔවුන් තිදෙනා සිව්වන ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි හිසරදයක් වනු ඇත.

ගාලු පිටි‍යේ මෙ‍තෙක් පවත්වා ඇති තරග 32 න් තරග 26 ක්ම විසඳුමකින් අවසන් වී ඇති අතර ඉන් තරග 18 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. සංචාරක කණ්ඩායම්වලට ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 08 ක් පමණි.

නවසීලන්තය මෙම පිටියේදී තරග 03 කට සහභාගි වී ඇතත් එම තරග තුනේදීම ඔවුන් දැවැන්ත පරාජයන් අත් කරගෙන තිබේ. හෙට දිනයේදී ඔවුන්ගේ දඟපන්දු යවන්නන් දස්කම් අතරට පැමිණියහොත් ගාලු පිටියේ පළමු ජය සැමරීමට නවසීලන්ත ක්‍රීඩකයන්ට හැකිවනු ඇත.

UN