ඔක්කොටම කලින් ගිවිසුම හදපු කෙනා හොයාගන්න ඕනෙ - හරීන්

ඔක්කොටම කලින් ගිවිසුම හදපු කෙනා හොයාගන්න ඕනෙ - හරීන්

8 August 2019 06:00 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා බඳවා ගැනීමේදී ඔහු සමග එළඹි ගිවිසුම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. වසර දෙකක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායය වුවද හතුරුසිංහ මහතා සමග වසර තුනක කාලයක් සඳහා ගිවිසුම්ගතව ඇති බවත් එහි ඇතැම් කරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාර්ශ්වයට අතිශය අවාසි සහගත බවත් ඇමතිවරයා පවසයි.
 
'හතුරුසිංහ මහත්තයා තනතුරෙන් යනව නං එයා මාස තුනක පඩි ක්‍රිකට් ආයතනයට ගෙවන්න ඕනෙ. හැබැයි අපි එයාව ඉවත් කරනව නං අපි එයාට අවුරුද්දක පඩි ගෙවන්න ඕනෙ. ගිවිසුමේ තියෙන්නෙ මෙහෙමයි. මේක පුදුම ගිවිසුමක්. මේ ගිවිසුම ගහන්න කවුද අවසර දුන්නෙ' යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පිළිබඳව විමසා සිටී.
 
තමන්ට හතුරුසිංහ මහතා සමග කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඔහුව ඉවත් කිරීම සඳහා තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඇමතිවරයා පවසයි. තමා සිදුකළේ ක්‍රිකට් ආයතනයෙන් විමසීම පමණක් බවත් පුහුණුකරු ඉවත් කරන්නැයි කිසිදු බලපෑමක් සිදු නොකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
 
ක්‍රීඩකයන්ට දක්ෂතා පදනම මත ගෙවීම් සිදු කරන්නේ නම් පුහුණුකරුවන්ට ද එම ක්‍රමවේදය අනුමගමනය කළ යුතු බවයි හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
 
ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන පරීක්ෂණය පිළිබඳව ද අසත්‍ය පුවත් ප්‍රචාරය වන බව පෙන්වා දුන් ඇමතිවරයා පැවසුවේ වෝහාරික විගණන පරීක්ෂණය ඉල්ලා සිටියේ හිටපු ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා නොව තමා බවයි. එම පරීක්ෂණ අඩපන කිරීමට තමා උත්සාහ කළ බවට සිදු කරන ප්‍රචාරය අසත්‍ය බව ද ඔහු පෙන්වා දෙයි.
 
සමාජ ජාලා හෝ මාධ්‍යවල පළවන වාර්තාවලට අනුව කටයුතු කිරීමට සූදානම් නොමැති බව ඇමතිවරයා සඳහන් කරයි. දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කරන විට එදා ක්‍රිකට් ආයතනය හා තමා විවේචනය කළ ෆේස්බුක් ක්‍රියාකාරිකයන් අද එම විවේචන වැරදි බව තේරුම් ගෙන ඇති බවයි ඇමැතිවරයා පවසන්නේ.