සම්මානයට නියම සුදුස්සා විලියම්සන්, මගේ මනාපයත් ඔහුටයි !

සම්මානයට නියම සුදුස්සා විලියම්සන්, මගේ මනාපයත් ඔහුටයි !

23 July 2019 05:30 pm

වසරේ නවසීලන්ත ජාතිකයා සම්මානය සඳහා සිය නම නිර්දේශ වීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිය නිවේදනයෙන් ඔහු පවසන්නේ වසරේ කිවියා (නවසීලන්ත ජාතිකයා) සම්මානය සඳහා තමාගේ නම නිර්දේශ වීමම ගෞරවයක් ලෙස සලකන බවයි. තමාගේ නවසීලන්ත උරුමය හා මාඔරි උරුමය සම්බන්ධයෙන් ආඩම්බර වන බවත්, කෙසේ වෙතත් මෙම සම්මානය සඳහා නිර්දේශ වීම කාරුණිකව ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසනවා.

ඒ සඳහා තමාට වඩා ගැලපෙන, සිය රට වෙනුවෙන් සේවය කළ වෙනත් නවසීලන්ත ජාතිකයන් විශාල පිරිසක් සිටින බව ද ඔහු සිය නිවේදනයෙන් ප්‍රකාශ කරනවා. එසේම ස්ටෝක්ස් වයස අවුරුදු 12 පටන් එංගලන්තයේ වාසය කරන බවත් සහ තමන් ක්‍රීඩා කළේ දක්ෂතා දැක්වූයේ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බවත් ඔහු සඳහන් කරනවා.

වසරේ කිවියා සම්මානය සඳහා වඩාත් සුදුසු නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් බවයි ඔහු සිය නිවේදනයෙන් ප්‍රකාශ කරන්නේ. ඒ සඳහා ඔහු ඕනෑවටත් වඩා දක්ෂතා ප්‍රදර්ශනය කළ බවත් ඔහුගේ නායකත්වය යටතේ නවසීලන්ත කණ්ඩායම අවසන් තරගය දක්වා පැමිණි බවත් ස්ටෝක්ස් පවසනවා. එසේම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සහ නිහතමානී ක්‍රීඩකයෙකු ලෙස හා නායකයෙකු ලෙස ඔහු සමස්ත ලෝකයේම ක්‍රීඩාලෝලීන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වූ බව සිහිපත් කරන බෙන් ස්ටෝක්ස්, ‍කේන් විලියම්සන් නවසීලන්ත පුරාවෘත්තයක් බවට පත් කළයුතු බව ද පවසනවා.

විලියම්සන් මෙම සම්මානය හිමිකර ගැනීම තමාගේ බලාපොරොත්තුව බවත් කිසිදු පැකිලීමකින් තොරව තමාගේ මනාපය ඔහු වෙනුවෙන් පළ කරන බවත් ස්ටෝක්ස් පවසනවා.

UN