ලසිත් මාලිංග සිය අවසන් එක්දින තරගය නැරඹීමට ආරාධනා කරයි !

ලසිත් මාලිංග සිය අවසන් එක්දින තරගය නැරඹීමට ආරාධනා කරයි !

23 July 2019 04:12 am

ජුලි 26 වනදා බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තමන් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග පවසයි. 

තමන් මෙම තීරණය මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබුණු බවත් ඊයේ (22) වනවිට එය ස්ථිර වශයෙන්ම ප්‍රකාශයට පත් කෙරුණු බවත් ඔහු සඳහන් කළේය. 

වසර 16ක තම ක්‍රිකට් දිවිය තුළ තමන් හා රැඳුණු සියලු දෙනාටම ස්තූතිවන්ත වන බව පැවසූ ඔහු තමන්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමට නොයෙක් වර උත්සාහ දැරූ අයට අනුකම්පා කරන බවයි ප්‍රකාශ කළේ. 

එසේම සිය අවසන් එක්දින ජාත්‍යන්තර තරගය නැරඹීම සඳහා ජුලි 26 වනදා ඛෙත්තාරාම ක්‍රීඩාංගනයට පැමිණෙන මෙන් ද ඔහු ක්‍රීඩා ලෝලීන්ට ආරාධනා කළේය. 

2004 වසරේදී එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි ලසිත් මාලිංග තරග 225කදී කඩුලු 335ක් දවා ගැනීමට සමත් වෙමින් සිය දක්ෂතා දක්වා තිබේ. ලකුණු 38කට කඩුලු 6ක් වශයෙන් ඔහු එක්දින ජාත්‍යන්තර පිටියේ සිය විශිෂ්ටතම දක්ෂතාව සටහන් කර ඇත. 

RN