දැල්පන්දු ලෝක ශූරතාවය නවසීලන්තයට, අපි 15 වෙනි තැන

දැල්පන්දු ලෝක ශූරතාවය නවසීලන්තයට, අපි 15 වෙනි තැන

22 July 2019 01:00 pm

එංගලන්තයේ ලිවර්පූල්හිදී ඊයේ (21) අවසන් වූ 2019 දැල්පන්දු ලෝක ශූරතාවය දිනා ගැනීමට නවසීන්ත ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අවසන් තරගයේදී ප්‍රතිවාදී කැන්ගරු ක්‍රීඩිකාවන් පරාජයට පත් කරමිනි. නවසීලන්තය මෙවර ශූරතාවයට හිමිකම් කියන්නෙ ඉතිහාසයේ පස්වැනි වරටයි.

පසුගිය 14 වැනිදා අවසන් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය මෙන් අතිශය උණුසුම් තරගයක් ඊයේ දක්නට ලැබුණු අතර ලෝක ශූරියන් තීරණය වූයේ එක් ගෝලයක වෙනසකිනි. තරගයේ සම්පූර්ණ කාලය අවසන් වනවිට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ගෝල් 51 ක් ලබාගෙන සිටි අතර ලෝක ශූර නවසීලන්ත ක්‍රීඩිකාවන් ගෝල 52 ක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව කැන්ගරු ක්‍රීඩිකාවන්ට අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු වූ අතර දකුණු අප්‍රිකාව ගෝල 42-58 ක් ලෙස පරාජයට පත්කළ සත්කාරක එංගලන්තය තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ආසියානු ශූරියන් ලෙස ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවට කණ්ඩායම් 16 ක් අතරින් 15 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තේ ආසියනු අනුශූරියන් ලෙස මෙම තරගාවලියට එක් වූ සිංගප්පූරුවට එරෙහිව පැවති තරග දෙක පමණි.

ඒ අනුව දැල්පන්දුවෙන් තවමත් ශ්‍රී ලංකාවට ආසියානු කලාපයෙන් ඔබ්බට යාමට තවමත් නොහැකි වී තිබේ.

තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ එකම ජයග්‍රහණ වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් වැඩිම ගෝල් ප්‍රමාණයක් රැස්කර ගත් ක්‍රීඩිකාව බවට පත්වීමයි. ඇය තරගාවලිය පුරා ගෝල් 348 ක් වාර්තා කළ අතර එහි දෙවැනි ස්ථානය හිමි ජැමෙයිකාවේ ජැනියෙලේ ෆව්ලර් රැස්කර ගත් ගෝල් ප්‍රමාණය 304 කි.

UN