බෙන් ස්ටෝක්ස් වසරේ කිවියා සම්මානයට නිර්දේශ වෙයි

බෙන් ස්ටෝක්ස් වසරේ කිවියා සම්මානයට නිර්දේශ වෙයි

19 July 2019 08:11 pm

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී අවසන් පන්දුවාරය වනතෙක් ශූරතාවයට වඩාත් සමීපව සිටියේ නවසීලන්තයයි. නවසීලන්තයට තරගාවලියේ ජයග්‍රහණය අතිශයින් වැදගත් වූයේ මීට වසර හතරකට පෙර අවසන් තරගයේදී ඔවුන් ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ ද පරාජයට පත්ව තිබූ නිසාය.

කෙසේ වෙතත් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් කිවියන්ගෙන් කුසලානය උදුරා ගැනීමට සමත් වූයේ අවසාන පන්දුවාරයේදී සහ ඉනික්බිති ක්‍රියාත්මක වූ සුපිරි පන්දුවාරයේදී සුපිරි දස්කම් දක්වමිනි.

අවසන් පන්දුවාරයේ ඇතැම් විනිසුරු තීරණය මතභේදයකට ලක් වුවද එය ස්ටෝක්ස් සිදුකළ වික්‍රමයේ අභිමානයට කිසිදු කැළලක් එකතු කළේ නැත.

අවසන් තරගයේදී ස්ටෝක්ස් පෑ පෙළහර නිසා ඔහු මේ වනවිට සුවිශේෂ සම්මානයක් සඳහා නිර්දේශ වී තිබේ.

එය වඩා වැදගත් වන්නේ,  ස්ටෝක්ස් ඉදිරියේ පිටපිට දෙවැනි වරටත් ලෝක ශූරයන් වීමේ සිහිනය සුනු විසුනු කරගත් නවසීලන්තය විසින් ස්ටෝක්ස් මෙකී සම්මානය සඳහා නිර්දේශ කිරීමයි.

ස්ටෝක්ස් මේ වනවිට වසරේ නවසීලන්ත ජාතිකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබේ. ඊට හේතුව වන්නේ ඔහු උපතින් නවසීලන්ත ජාතිකයෙකු වීමයි.

මේ වනවිට 28 හැවිරිදි වියේ පසුවන ස්ටෝක්ස් නවසීලන්තයේ උපත ලැබූ අතර ඔහු 12 හැවිරිදි වියේදී එංගලන්තය වෙත සංක්‍රමණය වී තිබේ. කෙසේ වෙතත් ඇතැම් නවසීලන්ත ජාතිකයන් තවමත් සලකන්නේ බෙන් ස්ටෝක්ස් නවසීලන්ත ජාතිකයෙකු ලෙසයි.

මෙම සම්මානය නවසීලන්තයේ අතිශය ගෞරවණීය සම්මානයක් වන අතර ඉන් අදහස් වන්නේ 'ආනුභාව සම්පන්න කිවි ජාතිකයා' යන්නයි.

ස්ටෝක්ගේ නම නිර්දේශ වීම සම්බන්ධයෙන් මෙම සම්මාන උළෙලේ ප්‍රධාන විනිසුරුවරයා වන කැමරන් බෙනට් පවසන්නේ ඔහු නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා නොකළද ඔහුගේ දක්ෂතා හේතුවෙන් තවමත් කිවි ජාතිකයන්ට ආඩම්බර විය හැකි බවයි. එමෙන්ම ඔහුගේ දෙමව්පියන් තවමත් ක්‍රයිස්ට්චර්ච් නගරයේ වාසය කරන බැවින් හා මාඕරි පරපුර සමග සබඳතා තිබෙන බැවින් මෙම සම්මානය සඳහා සුදුස්සෙකු වීමට ඔහුට අවශ්‍ය තරම් සුදුසුකම් තිබෙන බව කැමරන් බෙනට් පවසනවා.

මේ අතර මෙම සම්මානය සඳහා අනුශූර නවසීලන්ත කණ්ඩායමට නායකත්වය ලබාදුන්, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් කේන් විලියම්සන්ගේ නම ද නිර්දේශ වී තිබෙනවා.

වසරේ කිවියා සම්මානය මෙවර ක්‍රියාත්මක වන්නේ 11 වැනි වතාවට වන අතර මීට පෙර නවසීලන්ත රග්බි කණ්ඩායමේ හිටපු නායක රිචී මැකෝ විසින් ද දිනාගෙන තිබෙනවා.

සැප්තැම්බර් මාසය දක්වා නාමයෝජනා භාරගැනීමට නියමිත අතර දෙසැම්බර් මාසයේදී අවසන් 10 දෙනා ප්‍රකාශයට පත් කරන අතර වසරේ කිවියා සම්මානය පිරිනැමෙන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේදීය.

UN