සිම්බාබ්වේ ක්‍රිකට් නිමි ? (මසායි දේශයේ ක්‍රිකට් මළගමේ කතාව)

සිම්බාබ්වේ ක්‍රිකට් නිමි ? (මසායි දේශයේ ක්‍රිකට් මළගමේ කතාව)

19 July 2019 02:30 pm

අර්බුද පිරි සිම්බාබ්වේ ක්‍රිකට්හී නවතම අර්බුදය ICCය විසින් ඔවුනගේ සමාජිකත්වය අත්හිටුවීමය. කලක පටන් සිම්බාබ්වේ ක්‍රිකට්හි සිදුවන දේශපාලන අතපෙවීම්වල උච්චස්ථානයේ ප්‍රතිඵලය ලෙසට මෙය සැලකීම නිවැරදිය. ඊයේ ලන්ඩනයේ පැවැති ICC විධායක සමුළුවේ රැස්වීම් වාර තුනක් පුරා සාකාච්ඡාවට ගැණුනු මෙම තත්වය අවසානයේ නිමාව දුටුවේ සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රිඩාවේ ඉරණම ලියා හරිමින්දැයි සාධාරණ බියක් සියල්ලන් තුලම ඇත.

සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනය සහ මූල්‍ය කළමනාකරණය තුලට නිරන්තරයෙන් එරට රජය මැදිහත්වීම තුල ICCය මගින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත කරනු ලබන මූල්‍ය ප්‍රතිපාදන එරට රජය විසින් රජයේ ව්‍යාපෘති සඳහා යොදා ගැනීම මෙම තහනමට මූලික වූ ප්‍රධානම හේතුව වන අතර මීට අමතරව දිගින් දිගටම සිදුවන දේශපාලන අතපෙවීම් මෙම තීරණය සඳහා රුකුල් විය.

මෙම අර්බුදයට හේතු පාදක වූ සිම්බාබ්වේ වියවුල දශක කිහිපයක් පුරා සිදු වූ දූෂිත සහ අමනෝඥ පරිපාලනය හේතුවෙන් ඇති වුවකි.

සිම්බාබ්වේ නොහොත් අතීත රොඩේශියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන විට එරට පාලනය හිමිව තිබුණේ සුළුතරයක් වු සුදු ජාතිකයන් අතය. පාලන බලය සහ ඉඩම් අයිතියද සුළුතරයක් වූ සුදු ජාතිකයන් අත වූ අතර 1965 වසරෙ රොඩේශියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතරුව අප්‍රිකානු කළු ජාතිකයන් වසර 15 පුරා සුදු රජයට විරුද්ධව ගරිල්ලා අරගලයක නිරත විය. 1980 වසරේ දෙපාර්ශවය අතර වූ සාම ගිවිසුම හරහා එම වසරේ විවෘත මැතිවරණයක් පැවැත්වූ අතර ඉන් කලු ජාතික රොබට් මුගාබේ බලයට පත් වූ අතර ව්‍යවස්ථා සංශෝධනයක් සමඟින් 1987 ජනාධිපතිවරයා බවට පත්වු ඔහු එවක් පටන් 2017 වසර දක්වා වසර 30 ක් පුරාවට අමනොඥ පාලනයක නිරත විය. දූෂිත මැතිවරණ හරහා බලය රැකගත් මුගාබේ සැලකෙන්නෙ ලෝකයේ බිහිවූ නිර්ලජ්ජිත සහ සූක්ෂ්ම එකාධිපතියෙකු ලෙසය.

ක්‍රිකට් ලෝලියෙකු ලෙස ප්‍රකට රොබට් මුගාබේ, ඔහුගේ අමනෝඥ තීරණ හරහා සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට රැගෙන ගියේය. මුගාබේගේ සහ ඔහුගේ සහචරයන්ගේ දාමරික ක්‍රියා හේතුවෙන් ස්වදේශික සුදු ජනයා ගම් බිම් ඉඩම් හැරයන්නට වූ අතර ඔවුන්ගේ දේපල කොල්ල කා ඔවුන් වදහිංසනයන්ට ලක් වීමද දිගින් දිගිටම සිදුවිය. 2003 වසරේ පැවැති ලෝක කුසලාන තරඟමාලාවේ සත්කාරකත්වය සිම්බාබ්වේ විසින් දැරූවද එංගලන්තය විසින් හරාරේහී පැවැත්වීමට නියමිතව තිබූ තරඟය වර්ජනය කරමින් මුගාබේගේ මිලේච්ඡ පාලනය හෙලා දැක්කේය. එවකට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සම්පූර්ණයෙන්ම පාහේ සමන්විත වූයේ සුදු ජාතිකයන්ගෙන් වූ අතර ෆ්ලවර් සොහොයුරන්, නීල් ජොන්සන්, හීත් ස්ට්‍රික් වැනි ප්‍රභල ක්‍රීඩකයන් අතර හෙන්රි ඔලොංගා නම් වූ සිම්බාබ්වේහී පලමු කළු ජාතික ක්‍රීඩකයාද විය.

2003 ලෝක කුසලනයෙ සිම්බාබ්වේ පලමු තරඟයට ඇන්ඩි ෆ්ලවර් සහ හෙන්රි ඔලොංගා කලු පටි පැලඳ ක්‍රීඩා කරන්නේ සිම්බාබ්වේ දේශයේ "ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම"උදෙසා තම විරෝධය පලකරන්නටය. එතැන් පටන් ෆ්ලවර් සහ ඔලොංගා පසුපස මුගාබේගේ මැරයන් ලුහුබඳින්නට වූ අතර ඔලොංගා අවස්ථා දෙකකදී ඝාතනය කරන්නට උත්සාහයක් වු බවට තොරතුරු හෙලි වීමත් සමඟ ඔලොංගා සහ ෆ්ලවර් එංගලන්තයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා සංක්‍රමණය විය. ඒ සමඟම සියලුම සුදු ජාතික ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් වූ අතර කණ්ඩායම 19 හැවිරිදි ටටෙන්ඩා ටයිබු යටතට පත්කොට සම්පූර්ණයෙන්ම කලු ජාතික ක්‍රිඩකයන්ගෙන් සමම්විත කණ්ඩායමක් ලෙස කරලියට පැමිණියේය.

මුගාබේ පාලනය තුල සිදු වූ දේශපාලන පලිගැනීම්, සමූල ඝාතන හේතුවෙන් එරටට විදේශ සම්බාධක පැනවූ අතර එතුලින් සිම්බාබ්වේ දේශය තුල අධි උද්ධමන තත්ත්වයක් ඇති වූ අතර සිම්බාබ්වේ ඩොලර් මිලියනයේ නෝට්ටු පවා මුද්‍රණය කෙරිණි. සිම්බාබ්වේ ඩොලර් මිලියනකින් එක් වේලකට සෑහෙන ආහාර මිලට ගැනීමට නොහැකි වූ ත්ත්වයක් තුල 2015 වසරේදී සිම්බාබ්වේ ඩොලරය භාවිතයෙන් ඉවත් කෙරිණි. මේ වනවිට සිම්බාබ්වේ තුල විදේශ මුදල් ඒකක 10 කට ආසන්න ප්‍රමාණයක් වලංගු මුදල් ලෙස භාවිත වේ.

2017 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව මුගාබේ විසින් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ නමුත් ඔහු විසින් නිර්මාණය කරන ලද සිම්බාබ්වේ දේශයේ ඉමක් කොනක් නොමැති අර්බුදය තවදුරටත් උත්සන්න වනවා මිස විසඳුම් ලැබෙන පාටක් හෝ නැත. මෙවන් තත්ත්වයකදී සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය වෙත ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වන ධනය වෙනත් ව්‍යාපෘතිවල යෙදවීම අරුමයක් නොවන මුත්, දේශපාලන අතපෙවීම් ක්‍රීඩාවකට අනුමත කල නොහැකි බව පිලිගත යුතුය.

ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ගේ හැරයාම, ටෙස්ට් තත්වය අහිමිවීම, මූල්‍ය බංකොලොත්භාවය, ක්‍රීඩක සහ පුහුණුකරුවන්ගේ වැටුප් නොගෙවීමේ අර්බුදය විසින් වෙලාගෙන තිබූ සිම්බාබ්වේ ක්‍රිකට්හි දොරගුලු වසා දැමීමට ICCය ගනු ලැබූ තීරණය සමඟ සිම්බාබ්වේ ක්‍රිකට්හි අවසානය සිදුවේද ?

සිම්බාබ්වේ දේශය සමාජිකත්වය තහනමට ලක්වූ ජාත්‍යන්තර සංවිධාන ලැයිස්තුව අතරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඇතුලත් වීම සිම්බාබ්වේ ක්‍රීඩකයන්ගේ අනාගතය පිලිබඳව දැඩි අවිනිශ්චිතභාවයක් හට ගෙන ඇති අතර බොහෝ දුරට මෙකී ක්‍රීඩකයන් සිම්බාබ්වේ දේශය හැරගොස් වෙනත් රටක දේශිය තරඟාවලි තුළ ක්‍රීඩා කරනු නොබෝ දිනකින් දැක ගැනීමට හැකි වනු ඇත. අංකුර ක්‍රීඩකයන් ක්‍රිඩාව හැර දැමීම හෙට සිට ආරම්භ වනු ඇත.

එසේ නම්, මේ දිගහැරමින් පවතින්නේ,

ප්‍රජාතන්ත්‍රවාදී රොඩේශියාවක් වෙනුවෙන් ප්‍රතිඥා දී බලයට ආ මුගාබේ අතින් නිතිපතා අපහරණයට ලක්වූ සිම්බාබ්වේ දේශයේ, ක්‍රිකට් ක්‍රීඩාවේ මළගමද...?

මුගාබේ වරෙක, "ක්‍රිකට් ක්‍රිඩාව මිනිසුන් ශිෂ්ඨසම්පන්න කරයි, එහෙයින් මාගේ සියලුම වැසියන් ක්‍රිකට් ක්‍රිඩා කරනු දකින්නට මා කැමැත්තෙමි, මන්දයත් මා මාගේ ජාතිය ශිෂ්ඨසම්පන්න වනු දැකීමට කැමැත්තෙමි" යැයි පැවසුවද මුගාබේ කිසි දිනෙක ක්‍රිකට් ක්‍රිඩා කර නොමැති බව ඔහුගේ කල්ක්‍රියාවෙන් කිව හැකිය.

මුගාබේගේ වචනයෙන්ම කියතොත් ශිෂ්ඨසම්පන්න ජාතියක් වෙනුවෙන් වූ ක්‍රීඩාවේ මළගම උදෙස පාර කැපූ අශිෂ්ඨ අධමයන් හේතුවෙන් හෙට දින ක්‍රිකට් සිතියමෙන් මසායි දේශය නික්ම යාම දැකීමට තරම් අප අවසනාවන්තයන් වී සිටින්නෙමු.

අසංක අරඹගොඩ