එංගලන්තයම නැළවූ සුපිරි මිනිසා - බෙන් ස්ටෝක්ස්

එංගලන්තයම නැළවූ සුපිරි මිනිසා - බෙන් ස්ටෝක්ස්

15 July 2019 01:32 pm

මීට වසර තුනකට පෙර, හරියටම 2016 වසරේ අප්‍රේල් 03 වැනිදා එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ දෑස් යොමුව තිබුණේ ඉන්දියාවේ කොල්කටා නගරය වෙතයි. ඒ තවත් වසර 04 කට ලෝක 20/20 කිරුළ තමන් සතුකර ගැනීම සඳහායි.

එම වසරේ 20/20 ලෝක ශූරයා තීරණය කරන අවසාන මහා තරගය සඳහා නවසීලන්තය පරාජය කරමින් එංගලන්තයත් සත්කාරක ඉන්දියාව පරාජය කරමින් බහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සුදුසුකම් ලබා සිටියේය.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයාගේ ඇරයුමින් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 09 කට ලකුණු 155 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් 19 වැනි ඕවරය අවසන් වනවිට කඩුලු 6 ක් දැවී ලබාගෙන තිබුණේ ලකුණු 137 ක් පමණි. ඔවුන්ට ලෝක ශූරයන් වීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 19 ක් ලබාගත යුතුව තිබූ අතර ඒ අනුව ශූරතාවයට වඩාත් ලංව සිටියේ එංගලන්තයයි.

අවසන් පන්දුවාරය යැවීම සඳහා එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පන්දුව අතට ගත් අතර පිතිහරඹය සඳහා සූදානම්ව සිටියේ කොදෙව් නවක තුන් ඉරියව් ක්‍රීඩක කාලෝස් බ්‍රෙත්වේට්ය. ස්ටෝක්ස් යැවූ පළමු පන්දු හතරටම දැවැන්ත හයේ පහර එල්ල කරමින් බ්‍රේත්වේට් සිය කණ්ඩායම ලෝක ශූරයන් බවට පත් කළේ සමස්ත එංගලන්ත ප්‍රේක්ෂකයන් කඳුළු සාගරයේ ගිල්වමිනි.

එදා එංගලන්තය අතේ තිබූ 20/20 ලෝක කුසලානය බන්දේසියක තබා කොදෙව්වන් වෙත පිළිගැන්වූ බෙන් ස්ටෝක්ස් අද සමස්ත එංගලන්තයටම වීරයෙකු වී තිබේ. ඒ එදා කාලෝස් බ්‍රේත්වේට් තමාගේ පන්දු ඉදිරියේ සිදුකළ වික්‍රමය ඊයේ පැවති 2019 එක්දින ලෝක කුසලාන අවසාන මහා තරගයේදී සිදු කරමින් එංගලන්තයට ඉතිහාසය පුරා විඳ ගැනීමට නොහැකිව තිබූ ලෝක කුසලානයේ පහස විඳ ගැනීමට ඉඩකඩ විවර කරමිනි.

විලිම්සන් ප්‍රමුඛ කිවියන් අතේ තිබූ ජයග්‍රහණය වලකාලමින් ඔවුන් ලබාගත් ලකුණු 241 සීමාවට සිය කණ්ඩායම ගෙනයාමට ස්ටෝක්ස් සමත් විය. අතර ඉන් පසු ක්‍රියාත්මක වූ සුපිරි ඕවරයේදී ජොශ් බට්ලර් හා එක්ව ලකුණු 15 ක ඉලක්කයක් ලබා දීමට ස්ටෝක්ස් සමත් වූ අතර එම ඉලක්කය ආරක්ෂා කරගත් එංගලන්තය තරගය අවසන් කළේ, 1975 වසරේ සිට අත්පත් කර ගැනීමට නොහැකි වූ ලෝක කුසලානය සිය දෝතට ගනිමිනි.

එංගලන්ත නායක ඔයින් මෝර්ගන් ප්‍රකාශ කළේ ස්ටෝක්ස් සුපිරි මිනිසෙකු බවයි. එය ඇදහිය නොහැකි උත්සාහයක් බවත්, අවසන් තරගය නැරඹීම සඳහා ලෝඩ්ස් ක්‍රීඩාංගනය වෙත පැමිණි ඇතැමුන් අද නැවත නිවස බලා යන්නේ ඊළඟ බෙන් ස්ටෝක්ස් වීමේ බලාපොරොත්තුව සිතේ රඳවාගෙන බව ද ඔහු පවසා තිබෙනවා.

අතුරු කතාවක්

මෙහි අනෙක් කතාව වන්නේ එංගලන්තයේ මෙම ජයග්‍රහණය අහම්බයක් නොවේ. ඔවුන් ඒ සඳහා 2015 ලෝක කුසලාන තරගාවලිය අවසානයේ පටන් පිඹුරුපත් සකස් කළේය. එදා බ්‍රේත්වේට් එල්ල කළ හයේ පහර 04 හේතුවෙන් ඇතැම්විට ස්ටෝක්ස්ගේ ක්‍රීඩා දිවිය අවසන්වීමට ඉඩ තිබිණි. එහෙත් එවැන්නකට ඉඩ නොතැබූ එංගලන්ත ක්‍රිකට් බලධාරීන් ස්ටෝක්ගේ දක්ෂතාවය හොඳින් අවබෝධ කරගෙන සිටි අතර ස්ටෝක්ස් යනු 2019 ජයග්‍රහණයට ප්‍රබල සාධකයක් බව තවදුරටත් විශ්වාස කළේය.

එංගලන්ත ක්‍රිකට් බලධාරීන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම ඉටු කිරීමට ස්ටෝක්ස් අද සමත් වී තිබේ. ඒ නිසා ඔහු එංගලන්තයට අද සුපිරි වීරයෙකි. සුපිරි මිනිසෙකි.

UN