’ලෙදර් පන්දුවෙන්’ වැසුණු ’දැල් පන්දුව’ - ශ්‍රී ලංකා පිල අද තරග බිමේ

’ලෙදර් පන්දුවෙන්’ වැසුණු ’දැල් පන්දුව’ - ශ්‍රී ලංකා පිල අද තරග බිමේ

12 July 2019 02:00 pm

සමස්ත ලෝකයේම අවධානය දිනාගත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අවසාන වීමට ඇත්තේ තවත් දින දෙකකි. එම තරගාවලිය පැවැත්වෙන එංගලන්තයේදීම අද (12) තවත් ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ වේ. 

ඒ 15 වැනි ‍‍ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 ක් සුදුසුකම් ලබා සිටින අතර විශේෂත්වය වන්නේ ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වන රටවල් 06 ක් ද දැල්පන්දු ලෝක කුසලානය සඳහා එක්ව සිටීමයි. 

ඒ අනුව ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ බටහිර ‍ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍ය සමූහයට අයත් ජැමෙයිකාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, බාර්බ‍ඩොස් යන කණ්ඩායම් මෙම තරගාවලියට එක්ව සිටී. සෙසු රටවල් වන්නේ මලාවි, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය, ෆීජි, සැමෝවා, උගන්ඩා, සිම්බාබ්වේ සහ සිංගප්පූරුව යන රටවල්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරියන් ලෙස තරගාවලියට සුදුසුකම් ලැබූ අතර ඕස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය හා සිම්බාබ්වේ සමගින් ඒ කාණ්ඩයෙන් තරග කරයි. කාණ්ඩයේ සෙසු කණ්ඩායම් පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි සටනක් දීමට සිදුවනු ඇත. ඊට හේතුව වන්නේ සෙසු කණ්ඩායම් තුනම ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දිනාගෙන සිටින හෙයිනි.

මේ වනවිට ඕස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින අතර උතුරු අයර්ලන්තය 09 වැනි ස්ථානයත් සිම්බාබ්වේ 14 වැනි ස්ථානයත් හිමි ක‍රගෙන සිටී. ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 19 වැනි ස්ථා‍නයේය.

පසුගිය වසරේ සිංගප්පූරුව පරදා ආසියානු ශූරතාවය දිනාගත් කණ්ඩායමේ එක් වෙනස්කමක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක දැල්පන්දු තරගාවලිය සඳහා පිටත්ව ගිය අතර ආසියානු තරගාවලියේදී නායකත්වය දැරූ චතුරංගි ජයසූරිය මෙවර ද නායකත්වය දරයි.

අද සමාරම්භක දිනයේදී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම සමග තරග වදින අතර හෙට උතුරු අයර්ලන්තය සමගත් අනිද්දා ප්‍රබල ඕස්ට්‍රේලියාව සමගත් තරග කිරීමට නියමිතය.

UN