ශ්‍රී ලංකා ක්‍රිකට් වොට්මෝර් සරණ යයි ! වොට්මෝර්ගෙන් ධනාත්මක ප්‍රතිචාර !

ශ්‍රී ලංකා ක්‍රිකට් වොට්මෝර් සරණ යයි ! වොට්මෝර්ගෙන් ධනාත්මක ප්‍රතිචාර !

26 June 2019 06:16 pm

1996 ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීම පිටුපස සිටි ප්‍රබල සාධකය වූ, හිටපු පුහුණුකරුගේ සේවය නැවත ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිණි. ඒ අනුව ඔහු නැවත ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් පැවති සාකච්ඡා සාර්ථක බවයි අනාවරණය වන්නේ.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඩේව් වොට්මෝර් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්වීමට නියමිතය.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පුහුණු උපදේශකයෙකු ලෙස වන අතර එ් අනුව කණිෂ්ට මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ඔහුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇත. ඒ යටතේ වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, සංවර්ධන සංචිතය ඇතුළු කණ්ඩායම්වල පුහුණු අධීක්ෂණය ඔහුට පැවරෙනු ඇත. මීට අමතරව ජාතික කණ්ඩායමේ පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් ද ඔහුට වගකීම් පැවරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ උපත ලබා පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ වොට්මෝර් මහතා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 07 කට සහ එක්දින තරගයකට ක්‍රීඩා කර තිබේ.

ඩේව් වොට්මෝර් මහතා අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඊට අමතරව පකිස්තානය, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

UN