කෝලිගේ ලෝක වාර්තාව සමගින් අපරාජිතයන්ගේ මුහුණට මුහුණ ගැටුම අද

කෝලිගේ ලෝක වාර්තාව සමගින් අපරාජිතයන්ගේ මුහුණට මුහුණ ගැටුම අද

13 June 2019 11:36 am

2019 ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගය අද (13) නොටින්හැම් ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගනයේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ.

අද තරගය පැවත්වෙන්නේ මේ වනවිට තරගාවලියේ ඉතිරි වී සිටින අවසන් අපරාජිතයන් යුගළය වන නවසීලන්තය හා ඉන්දියාව අතරයි. නවසීලන්තය තමන් සහභාගි වූ තරග තුනම ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ ශ්‍රී ලංකාවට, බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. ඉන්දියාව දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් අපරාජිතව සිටී.

අද තරගයේදී ඉන්දියානු කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවීමට නියමිතය. ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් ආබාධ හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර ලෝකේස් රාහුල් අද රෝහිත් ශර්මා සමග ඉනිම ආරම්භ කරනු ඇත. රාහුල්ගෙන් හිස්වන අංක 04 ස්ථානයට දිනේෂ් කාර්තික් හෝ විජේ ශංකර් කණ්ඩායමට කැඳවීමට නියමිත අතර වැඩි වාසියක් ඇත්තේ විජේ ශංකර්ටයි.

පසුගිය තරගවලදී ආබාධ හේතුවෙන් අවස්ථාව අහිමි වූ නවසීලන්තයේ අත්දැකීම් බහුල ආරම්භක වේගපන්දු යවන්නා වන ටිම් සවුති අද ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින අතර ආරම්භක පිතිකරු ස්ථානයේදී බොහෝදුරට වෙනසක් ඇති වීමට ඉඩ තිබේ.

අද තරගය නවසීලන්තය ජය ගතහොත් ඔවුන් ප්‍රසාද ලකුණු 08 ක් සමගින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනු ඇත. තරගය පරාජය වුවද ඔවුන්ගේ පළමු ස්ථානය බොහෝදුරට ආරක්ෂා වනු ඇති අතර ඉන්දියාව ප්‍රසාද ලකුණු 06 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්වනු ඇත.

අද තරගයේදී ඉන්දීය නායක විරාට් කෝලි පිත්තෙන් ලකුණු 57 ක් ලබා ගතහොත් මෙම තරගය ඔහුට සුවිශේෂී මතක සටහනක් වනු ඇත. ඒ එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කළ වේගවත්ම ක්‍රීඩකයාගේ වාර්තාව ඔහුගේ නමට ලියා ගනිමිනි. මේ වනවිට එම වාර්තාව හිමි කරගෙන සිටින්නේ සචින් ටෙන්ඩුල්කාර් ඉනිම 276 කදී ලකුණු 11,000 සම්පූර්ණ කර ගනිමිනි.

කෝලි මේ වනවිට ඉනිම 221 කදී ලකුණු 10,943 ක් රැස් කරගෙන සිටී.

UN